2/20/2013

දුම් බීමෙන් ලබන නිර්වාණය...

සැ. යු: මෙම පෝස්ටුව පල කරන්නේ ආගම්වාදය හෝ ජාතිවාදය අවුස්සාලමින් කිසියම් ආගමකට හෝ ජාතියකට ඇඟිල්ල දිගු කිරීමට හෝ අපහාස කිරීමට නොව, මෙයට මූලික වූ තනි පුද්ගලයා හෝ ආයතනයේ ක්‍රියාව හෙලා දැකීමට බව කරුණාවෙන් සලකන්න.

මෙන්න මේකයි. පින්තූරෙ දැක්ක ගමන්ම හිතාගන්න පුළුවන්නෙ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. මට නොතේරෙන්නෙ මේ කුණු සුද්දට මේකට දාන්න "නිර්වාණ" ඇරෙන්න වෙන නමක් තිබුනෙම නැද්ද කියන එකයි. දුම් පයිප්ප විකුණන එක මම මෙතනදි වරදක් කියල කියන්නෙ නෑ. මෙතන වරද තවත් ජන කොට්ඨාශයක් විසින් තම ආගමේ මුදුන් මල්කඩ විදිහට පිලිගන්නා තත්වයක් හඳුන්වන නමක් මේකට පාවිච්චි කිරීමයි.

නිර්වාණ වචනෙ තේරුම ගූගල් දෙයියන්ගෙන් ඇහුවාම කිව්වෙ බුද්ධාගමේ එන තේරුමට සම්බන්ධ අදහස් තමයි. තව රොක් බෑන්ඩ් එකකුත් තිබුනා. මේ දුම් පයිප්පෙට මේ නම දැමීම සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා කියන කෙනෙක් ඉන්නව නම්.. මම වැරදි අදහසක් දරනවා කියලා හිතනවා නම්, කරුණාකර මා නිවැරදි කරන්න.

ප.ලි. : මම මේ බ්ලොග් එකේ සුද්දන්ට බනිනව වැඩියි කියල කවුරුත් කියන්නෙපා... ඒක අහඹුවක් :)

2/12/2013

වැලන්ටයින්ගේ පරිණාමය...

මහ මග යනෙන තැන හැම අත රතු පැහැය
සළු පිළි සල්හි රතු පැහැ සළු පිරිලාය
දිලෙනා තරු විලස හදවත් එල්ලේය
මට නොදැනීම මුව මදහස එන්නේය

කුළුඳුල් වසර මල්සර හී පහර වැදී
සැලසුම් කරයි ඒ මොලයට නිවන නොදී
රහසේ ඈට දැනගන්නට ඉඩක් නොදී  
සමරන අයුරු පෙම්වතුනගෙ දිනයේදී

දෙවසර තුන් වසක් කාලය ගත වෙන්නේ
නොදැනිම නවම් මහ මැද අත ලඟ එන්නේ
උදයෙම මුහුන දැක සිඹ සනසාලන්නේ
"එක දවසක් මොටද වෙසෙසිව සමරන්නේ"

සිව්වන වසර තෙක් කාලය ගත වෙන්නේ
බැඳගත් බෙරේ කෙලෙසක හෝ ගහපන්නේ
"තමුසෙට විකාරද මොනවද කියවන්නේ
සුද්දෙක් මැරුනු දා මොකටද සමරන්නේ"



2/10/2013

ඇහි පිල්ලම යට...

ඇහි පිල්ලම යට තියෙන්නෙ කාටත් නොපෙනෙන, ඒත් හිතට වද දෙන දේවල්.

බොහෝ වෙලාවට කඳුළු බින්දුවක්. නමුත් කාලයක් තිස්සෙ ඇහැ හැඩ කරපු ඇස් පිහාටුවක් වෙන්නත් පුළුවන්.

සමහර වෙලාවක කඳුළු බිංදුවක්ම වෙන්නත් පුලුවන්, එලියට ආවොත් දෙනෙත වසාගෙන ඉන්න කුකුංකුම අංජන වර්ණ සේරම දිය කරගෙන තමන්ට ඇතිකරන විරූපී ලැජ්ජාව හමුවේ.. ඇහි පිල්ලම යටම හිර කරගන්න කඳුළු බිංදුවක්.

මට ඕනෙ අතින් ඇදලා එළියට අරගෙන ඇහි පිල්ලම යට හිරවෙලා තියෙනෙ සේරම දේවල් එලියට විසි කරන්න...

එන්න. වට වෙන්න.. කියවන්න, රස විඳින්න, හිනාවෙන්න. උපහාසයට බැරිනම් අපහාසයට... මං එලියට විසි කරන්නෙ ඇහි පිල්ලම යට කැවෙන දේ............